14/06/2026
මෙය 1921 වර්ෂයේදී නාලන්දා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කැණීම් අතරතුරදී සොයාගනු ලැබූ, නාලන්දාවෙන් හමුවූ සුප්‍රකට තාම්‍රපත්‍රයයි (තඹ සන්නසයි). මෙම සොයාගැනීම හුදෙක් එක් අභිලේඛනයක් ලැබීමක් පමණක් නොව, සියවස් ගණනාවක් පුරා සමස්ත ආසියාවටම ඥානාලෝකය ලබා දුන් එම ශ්‍රේෂ්ඨ බෞද්ධ ශිෂ්ටාචාරයේ ජීවමාන මතකයක් ද විය.
ශ්‍රී හිරානන්ද් ශාස්ත්‍රී මහතා සිය වාර්ෂික වාර්තාවේ (1920-21) සඳහන් කර ඇත්තේ, මෙම තාම්‍රපත්‍රය "B ආරාමය" (Monastery 😎 ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ලේ ප්‍රවේශ ශාලාවේ තිබී හමුවූ බවයි. ඒ අවට තිබූ පිළිස්සුණු සුන්බුන් මගින් සාක්ෂි දරන්නේ එය යම් දරුණු ගින්නකට හසුවන්නට ඇති බවයි — බොහෝ විට නාලන්දාවේ දැවැන්ත පුස්තකාල සහ විහාර විනාශ කළ එම විනාශකාරී ගින්නම විය හැකිය.
එසේ වුවද, සියවස් ගණනාවක් සුන්බුන් යට වැළලී තිබුණද, මෙම තාම්‍රපත්‍රය බොහෝ දුරට සුරක්ෂිතව ඉතිරි වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනඥයින් විසින් ඉතා ප්‍රවේශමෙන් පිරිසිදු කිරීමෙන් පසුව, එහි අක්ෂර නැවතත් පැහැදිලිව කියවිය හැකි තත්ත්වයට පත් විය.
මෙම අභිලේඛනය මුල්කාලීන දේවනාගරී අක්ෂරවලින් සහ සංස්කෘත භාෂාවෙන් ලියා ඇත. මෙහි ඉදිරිපස පේළි 42ක් සහ පසුපස පේළි 24ක් සටහන් කර ඇත. මෙහි විධිමත් කොටස ගද්‍යයෙන් ද, ඉතිරි කොටස පද්‍යයෙන් ද රචනා කර තිබේ.
මෙම තාම්‍රපත්‍රයේ වැදගත්ම ලක්ෂණය වන්නේ එහි ඇති මුද්‍රාවයි. එහි මෙසේ සඳහන් වේ:
“ශ්‍රී-දේවපාලදේවස්‍ය"
එනම් — "ශ්‍රේෂ්ඨ දේවපාලදේව රජුගේ (මුද්‍රාවයි)."
ඔහු නාලන්දා වැනි බෞද්ධ විශ්වවිද්‍යාලවලට අනුග්‍රහය දැක්වූ පාල රාජවංශයේ ශ්‍රේෂ්ඨ පාලකයින් අතරින් කෙනෙකු ලෙස සැලකේ.
මුද්‍රාවෙහි මුවන් දෙදෙනෙකු අතර පිහිටි ධර්ම චක්‍රයක් සටහන් කර ඇත. මෙම සංකේතය ඉතා ගැඹුරු අධ්‍යාත්මික අර්ථයක් දරයි.
* ධර්ම චක්‍රය — බුදුන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ සංකේතයයි.
* මුවන් දෙදෙනා — බුදුන් වහන්සේ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පවත්වා "ධර්මචක්‍ර ප්‍රවර්තනය" කළ සාරානාථයේ මිගදාය වනය සංකේතවත් කරයි.
පාල රජවරුන් බෞද්ධ ආගම, අධ්‍යාපනය සහ ඥාන සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨ අනුග්‍රාහකයන් ලෙස සැලකෙන බැවින්, ඔවුන් විසින් මෙම සංකේතය භාවිතයට ගැනීම ඉතා ස්වාභාවිකය.
මෙම තාම්‍රපත්‍රය හුදෙක් ලෝහයක් මත ලියන ලද අභිලේඛනයක් පමණක් නොවේ. එය නාලන්දාව හුදෙක් එක් විශ්වවිද්‍යාලයක් පමණක් නොව, සමස්ත ආසියාවේම බුද්ධිමය හා අධ්‍යාත්මික මධ්‍යස්ථානය වූ එම යුගය පිළිබඳව සාක්ෂි දරන්නකි.
13/06/2026
රාත්‍රියට රැස් විහිදෙන ඔවාගිරිය බුදු පිළිමය
අම්පාර - ඉඟිනියාගල මාර්ගයේ, පොල්වත්ත ග්‍රාමයේ පිහිටා ඇති ඔවාගිරිය පුරාවිද්‍යා භූමිය (රජමහා විහාරය) දිගාමඩුල්ලේ ඇතිඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථානයකි
මෙම පුරාණ විහාර සංකීර්ණයේ ඉතිහාසය අනුරාධපුර මුල් යුගයට (ක්‍රිස්තු පූර්ව යුගයට හෝ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට පෙර කාලයට) දිව යන බව ඉතිහාසඥයන්ගේ මතයයි.
ජනප්‍රවාදයට සහ විශ්වාසයන්ට අනුව මෙම විහාරය රුහුණේ කාවන්තිස්ස රජතුමාගේ කිරීමක් ලෙස සැලකේ. (නමුත් ඒ සඳහා ස්ථිර ලිඛිත සාක්ෂි හමුනොවේ).
කාලයාගේ ඇවෑමෙන් වනාන්තරයෙන් වැසී විනාශ වෙමින් පැවති මෙම භූමිය 1956 දී ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කර මතුකර ගන්නා ලදී. ගල්ඔය ව්‍යාපාරයේ මුල් කාලීන සංවර්ධන කටයුතු නිසා මෙහි තිබූ නටබුන් රැසකට හානි සිදු වී තිබූ බව වාර්තාවේ.
මෙම භූමියේ අනුරාධපුර යුගයට හෝ ඉන් ඔබ්බට අයත් සුවිශේෂී නටබුන් රැසක් දැකගත හැක
මෙහි ඇති පිළිමගෙය තුළ අඩි 11.5 ක් පමණ උසැති, ස්ථවික හුණුගල් වලින් නෙළන ලද විශිෂ්ට හිටි බුදු පිළිමයක් ඇත. මෙහි අන්තර්ගත චන්ද්‍රකාන්ත පාෂාණය හේතුවෙන් රාත්‍රී කාලයේදී සදරැස් වැටීමත් සමග දීප්තිමත්ව බබලන බව පැවසේ
මෙම පිළිමය හමුවන විට හිස සහ දෑත් කැඩී බිම වැටී තිබූ අතර, 2008 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය මගින් එය නැවත සකස් කර සෘජුකර සකසා ඇත .
චන්ද්‍රකාන්ත පාෂාණ (Moonstone)
ඉතා අලංකාර, අර්ධ විනිවිද පෙනෙන ස්වභාවයක් ගන්නා මැණික් විශේෂයකි. ශ්‍රී ලංකාව මේවා සඳහා ලෝක ප්‍රසිද්ධියක් උසුලයි (විශේෂයෙන්ම මීටියාගොඩ ප්‍රදේශය).
චන්ද්‍රකාන්ත පාෂාණ යනු ෆෙල්ඩ්ස්පාර් (ෆෙල්ඩ්ස්පාර්) ආයතනවලට අයත් වේ, ඔතොක්ලේස් (ඕතොක්ලේස්) සහ ඇල්බයිට් (ඇල්බිට්) යන සිලිකේට් ද්‍රව්‍ය වර්ග දෙකකින් එකතුවෙනි
මෙම මැණික් මතට ආලෝකය වැටුණු විට නිල් හෝ සුදු පැහැති සිනිඳු ආලෝක තරංග (දුමාරයක් වැනි ස්වභාවයක්) මතුපිටින් පාවී යනවා පෙනේ. මෙම සුවිශේෂී ආලෝක රටාව විද්‍යාත්මකව හඳුන්වන්නේ "ඇඩුලරෙසන්ස්" (Adularescence) යනුවෙනි. පාෂාණය ඇති ඉතා කුඩා නිල් පැහැති ආලෝකය ආලෝකය හරහා ගමන් කරන වර්තනය (Refraction) නිසා සිදුවේ.
12/06/2026
බෙල්ලන්විල කලාගාරයක් කල සිත්තරා
‘සෝමබන්දු විද්‍යාපති’
සෝමබන්දු විද්‍යාපති යනු චිත්‍ර ශිල්පියකු පමණක් නොවේ. ඔහු නර්තන ශිල්පියකු වේදිකා පසුතල නිර්මාණ කලා අධ්‍යක්ෂවරයකු, වේදිකා නාට්‍ය ඇඳුම් ආයිත්තම් නිර්මාණ ශිල්පියකුද, වේදිකා වෙස් නිර්මාණ ශිල්පියකු ලෙස තම දායකතවයෙන් කලා ලොව බැබලවූ විශිෂ්ඨ කලාකරුවෙකි.
බෙල්ලන්විල රජමහා විහාරයේ බිතුසිතුවම් ගැන කියැවෙද්දී නිතැතින්ම සිහියට නැගෙනුයේ සෝමබන්දු විද්‍යාපති ය. මහාචාර්ය ඇල්බට් ධර්මසිරි විසිනි ඉංග්‍රීසි බසින් ලියූ ‘Bellanwila Murals ’ කෘතියෙන් හෙතෙම සෝමබන්දු කලාකරුවා මුළු ලොවටම හඳුන්වාදී ඇත. බෙල්ලන්විල බිතුසිතුවම් අතර දේවාරාධනය, සිද්ධාර්ථ කුමාරෝපත්තිය, මහාමායා දේවියගේ සිහිනය, සිදුහත් කුමරුන් ශිල්ප ඉගෙනීම, සිද්ධාර්ථ කුමරු හා යසෝදරා විවාහය, සතරපෙරනිමිති, දුෂ්කරක්‍රියාව, සුජාතාවගේ කිරිපිඬු දානය, අංගුලිමාල දමනය, පටාචාරා පුවත, සංඝමිත්තාවන්ගේ පැමිණීම, ගිලනුන්ට උවටැන් කිරීම වැනි නිර්මාණ විශේෂයෙන් සඳහන් කල හැකිය.
සෝමබන්දුගේ චිත්‍ර හා බිතුසිතුවම්වලින් ලංකාවේ ප්‍රමුඛ ආයතනවල බිත්ති සැරසී ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ වියන්තලය හැඩගැන්වී ඇත්තේ ඔහු විසින් අඩි 80 x 80 ප්‍රමාණයෙන් නිමවන ලද සිංහල චිත්‍ර සම්ප්‍රදායට අයත් සැරසිල්ලකිනි. කතරගම කිරිවෙහෙර හා සෝමාවතී යන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ එහි ගර්භයේ නිධන් කිරීම සඳහා පිඟන්ගඩොළු මත සිතුවම්, ටවර් හෝල් රඟහල පදනමේ බිත්තියක අර්ධ උන්නතව නිර්මාණය කළ අඩි 7ක් උසැති සරස්වතී ප්‍රතිමාව, කොළඹ රමාඩා රෙනේසාස් හෝටලයේ ‘කොෆි ෂොප්’ හි රේඛා චිත්‍රවලින් අඳින ලද නිර්මාණ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා කර්මාන්ත නිරූපණය කෙරෙන ඕවර්සීස් ට්‍රස්ට්හි නිර්මාණය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දේශන ශාලාවේ ඇති කැටයම හා අගමැති කාර්යාලයේ සිංහල වංශකථාව පිළිබිඹු කරන නිර්මාණය සෝමබන්දුගේ කලා කෘති අතර විශේෂ තැනක් ගනී.
සෝමබන්දු විද්‍යාපතිගේ සිත්තම්වලින් පෙරදිග නව කලා ආරක් ගත් ඔහුටම ආවේණික වූ ශෛලියක් ගොඩනඟාගෙන ඇත්තේ චීන, සියම්, බුරුම හා ඉන්දියා ආදි පෙරදිග චිත්‍ර කලාවත්, අපරදිග චිත්‍ර කලාවත් මනාව අධ්‍යයනය කිරීමෙන් බව විද්වතුන්ගේ මතයකි.
✍️ සටහන: Malith Pulwansa
📷 සේයාරූප: අන්තර්ජාල මූලාශ්‍ර
11/06/2026
හිඳගල රාජමහා විහාරයේ සිතුවම් හා මුර්ති(ප්‍රතිමා)-18
හිඳගල රජමහා විහාරයේ පිටත බිත්තියේ දැකගත හැකි සිදුහත් කුමාර උප්පත්තිය සිදු වූ ආකාරය දැක්වෙන සිතුවම.
✍️ සටහන: Sanath B Herath
📷 සේයාරූප: Sanath B Herath
මුලාශ්‍ර ; #.හිඳගල ලෙන් විහාරය පුරාවෘත්තය,අයි.ඩී .එම් ව්ජේබණ්ඩාර
10/06/2026
මුල්කිරිගල රජමහ විහාරයේ ‘තේලපත්ත ජාතක සිතුවම’ ශ්‍රී ලංකාවේ බෞද්ධ සිතුවම් කලාවේ විශිෂ්ට නිදසුනකි.
විශේෂයෙන් ඉපැරණි කඩපිල නිරූපණය නිසා එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සමාජ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අතිශයින් වැදගත් සිතුවමක් ලෙස සැලකේ.
ඉපැරණි කඩපිල දර්ශනය:
තේලපත්ත ජාතක සිතුවමේ විශේෂයෙන් අවධානයට ලක්වන අංගයක් වන්නේ ඉපැරණි කඩපිලක් නිරූපණය කිරීමයි. මෙම දර්ශනය මඟින් එකල ශ්‍රී ලාංකික වෙළඳ කටයුතු, වෙළෙන්දන්ගේ ඇඳුම්, භාණ්ඩ හුවමාරු ක්‍රම සහ නාගරික ජීවිතයේ ස්වභාවය පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කරයි.
✍️ සටහන: රුචිත බණ්ඩාර
📷 සේයාරූප: අන්තර්ජාලයෙනි
මූලාශ්‍ර :
The Heritage of Sri Lankan Painting
සේනක බණ්ඩාරනායක විසින් රචිත Sinhalese Monastic Architecture හා අනෙකුත් කලා ඉතිහාස කෘති.
Buddhist Painting in Ceylon
ආනන්ද කුමාරස්වාමි රචිත Mediaeval Sinhalese Art
07/06/2026
පුන්කලස් සහිත මුරගල්
අලංකාර කැටයමින් යුත් පුන්කලස් සහිත මෙම මුරගල් දෙක මහනුවර කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රාජ මාළිගා භූමියෙන් හමුවී තිබේ. ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත මෙම මුරගල් 17 වන සියවසට අයත් වෙයි.
රාජමාළිගයට ප්‍රවිශ්ඨ වන දොරටුව දෙපස ප්‍රතාපවත් බව සහ සෞභාග්‍යවත් බව නිරූපණය කිරීමට මෙම මුරගල් දෙක යොදාගෙන තිබේ. දැනට මහනුවර රජවාසල කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
06/06/2026
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100 ක් පමණ ඈතින් පිහිටි TOI-1452 b නමැති බාහිර ග්‍රහලෝකය (Exoplanet) මේ වන විට තාරකා විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම ග්‍රහලෝකය මුළුමනින්ම පාහේ විශාල ගෝලීය සාගරයකින් වැසී පවතින බවට විද්‍යාඥයන් සැක කිරීමයි. ප්‍රමාණයෙන් පෘථිවියට වඩා 70% කින් පමණ විශාල වන මෙම අපූරු ග්‍රහලෝකය, ස්කන්ධයෙන් පෘථිවිය මෙන් පස් ගුණයකට ආසන්න වේ. පර්යේෂකයන් ඇස්තමේන්තු කරන ආකාරයට මෙහි සමස්ත ස්කන්ධයෙන් 30% ක් තරම් විශාල ප්‍රමාණයක් සමන්විත වන්නේ ජලයෙනි.
විශේෂයෙන්ම, මෙම ග්‍රහලෝකය තම මව් තාරකාවේ සිට ජීවයට හිතකර කලාපය හෙවත් "Habitable Zone" තුළ පිහිටා තිබීම විද්‍යාඥයන්ගේ කුතුහලය තවත් වැඩි කිරීමට හේතු වී ඇත. මෙමගින් එහි මතුපිට ද්‍රව ජලය පැවතීමේ හැකියාව ඉතා ඉහළ අගයක් ගනී. මේ නිසාම TOI-1452 b යනු විශ්වයේ කලාතුරකින් දැකිය හැකි සැබෑ "සාගර ලෝකයක්" (Ocean World) විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාස කරති. මෙම සුවිශේෂී ලක්ෂණ හේතුවෙන්, ඉදිරියේදී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) හරහා සිදු කිරීමට නියමිත වඩාත් සවිස්තරාත්මක නිරීක්ෂණ සඳහා ප්‍රධානතම ඉලක්කයක් ලෙස මෙම ග්‍රහලෝකය තෝරාගෙන ඇත.
මෙය බුදු දහම තුල දක්වා ඇති ආකාරය ද , සොයා බැලිය යුතුය. ඒ සඳහා අග්ගඤ්ඤ සූත්‍රය පරිශීලනය කළ යුතුය.
වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සියලු සක්වළ එක් මැ දිය කඳෙක් වැ සිටියි. අඳුරෙක් මහ ගනඳුරෙක් ම වෙයි. සඳු හිරුහු නො පැනෙත්, නකත්හු තරුහු නො පැනෙත්. රෑ දාවල්හු නො පැනෙත්, මාස පක්ෂයෝ නො පැනෙත්. ඍතු සංවත්සරයෝ නො පැනෙත්, ස්ත්‍රී පුරුෂයෝ නො පැනෙත්. සත්වයෝ සත්වයෝ යැ යි ම ව්‍යවහාරයට පැමිණෙත්. වාශිෂ්ඨයෙනි, ඉක්බිති යම්සේ නිවෙන්නාවූ හුණු කිරි මත්තෙහි යොදයෙක් වේ ද, එසේ ම රස පොළොව ඒ දිය මතුයෙහි සිසාරා පැතිරගෙන පහළ විය. එය වර්‍ණ සම්පන්න ද ගන්ධ සම්පන්න ද රස සම්පන්න ද විය. මනාකොට නිපැයුණු ගිතෙලෙක් හෝ වෙඬුරෙක් යම්බඳු වේ ද, ඒ රස පොළොව එබඳු පැහැ ඇත්තේ ද විය. නිදොස් වූ (පිළවුන් නැති) දඬුවැල්බෑ මීවදයෙක් යම් බඳු වේ ද, ඒ රස පොළොවේ රසය ද එබඳු විය.
05/06/2026
බොදුනු සිත් පහන් කළ සාර්ලිස් මාස්ටර්
මෙරට බොදුනු චිත්‍ර කලාවට මහත් සේවයක් කළ කලාකරුවන් බොහෝ දෙනෙක් සිටිති. ඒ අතරින් සොයිලියස් මැන්දිස්ට හා එම්. සාර්ලිස්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සොයිලියස් මැන්දිස් හා කැලණි විහාරය අතර බැඳීම යම් සේ ද සාර්ලිස් මාස්ටර් හා එදා පැරණි නිවෙස් සැරසූ සීවලී මහා රහතන් වහන්සේ, දේවාරාධනය, මහාභිනිෂ්ක්‍රමණය, කේශ ධාතු කැපීම, සිද්ධාර්ථ කුමරෝත්පත්තිය, සූවිසි විවරණය ආදී බෞද්ධ සිතුවම් හා කොළඹ මාළිගාකන්ද විහාරය ඉසිපතනාරාමය අශෝකාරාමය වේළුවනාරාමය යන විහාර සිතුවම්වලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.
1880 ජුනි මස 25 දින අම්බලන්ගොඩ ආඳාදොළ ගමේ උපන් මාලිගාවගේ සාර්ලිස් මහතාගේ පියා වූයේ මාලිගාවගේ නන්දෝරිස්ය. ඔහු දෛවඥයෙකි. ගමේ පන්සලේ වලිතර සරණංකර හිමිගෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද පිරිවෙනට ඇතුළු විය. ළමා වියේ සිට චිත්‍ර කලාව පිළිබඳ ලැදියාවක් දැක්වීය. සාර්ලිස් මාස්ටර්ගේතෙළිතුඩින් ජීවය ලද බෞද්ධ විහාර ගණනාවකි. කොළඹ මාළිගාකන්ද විහාරය ඉසිපතනාරාමය අශෝකාරාමය වේළුවනාරාමය ඉන් කිහිපයකි. සාර්ලිස් මහතා විසින් එදා නිර්මාණය කරන ලද බෞද්ධ චිත්‍ර බෞද්ධයෝ මහත්සේ අගය කලහ. එකල බුදුනුවන්ගේ නිවාස අලංකාර වූයේ එම චිත්‍රවලිනි. සිඬාර්ථ කුමාරෝත්පත්තිය, මහමායා සිහිනය, දේවාරාධනාව, සිදුහත් කුමරු ගිහිගෙය හැරයාම වැනි සිතුවම් එකල සෑම බෞද්ධ නිවෙසකම දකින්නට තිබිණි.. ඇම්.සාර්ලිස් මහතා යුරෝපීය චිත්‍ර කලාවේ ආභාෂය ලැබූ කෙනෙකි. දීප්තිමත් වර්ණ භාවිතය, එළිය අදුර දැක්වීම, පර්යාවලෝකනය හා තාත්වික නිරූපනය ඔහුගේ චිත්‍රවල දක්නට ලැබේ.
සාර්ලිස් මාස්ටර් එවක කොළඹ මරදානේ ටවර්හෝල් රඟහලේ චිත්‍ර නිර්මාණය කළ චිත්‍රකලා විශාරදයෙක් වූ රිචඩ් හෙන්රිකස් මහතාගෙන් චිත්‍ර කලාව වැඩිදුරටත් හදාරා ඇති අතර එම ආභාෂය සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍රවලින් කැපී පෙනේ.
නවනාරි කුංජරය, පංචනාරි ඝටය, සප්ත නාරි පල්ලැක්කිය, වැනි අපූරු චිත්‍ර නිර්මාණ එතුමා අතින් නිර්මාණය විය.. එතුමා දක්ෂතම චිත්‍ර ශිල්පීන් රැසක්ම බිහි කළ අතර ජී.ඇස්. ප්‍රනාන්දු කාටුන් ශිල්පි ජී.ඇල් ගෞතමදාස ඇම්. නෝබට්, ලව්නේරිස් සහ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් අමුණුගොඩ චිත්‍ර ශිල්පි ඩී.ඇස්. ජයවර්ධනයන්ද වේ.
බුදු පිළිම සහ ප්‍රතිමා නෙළීම සඳහා සාර්ලිස් තරුණයාට උපදෙස් ලැබී ඇත්තේ දොස්තර ගේබ්‍රියල් ගුණවර්ධන මහතාගෙනි. එවකට ජීවත් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල, දොස්තර සී.ඒ. හේවාවිතාරණද, සජීවීව නුදුටු කර්නල් ඕල්කට්තුමා, මියුසිස් හිඟින්ස්, ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිමාද මාස්ටර් අතින් නිර්මාණය වී තිබේ.
1911 දී මාලිගාකන්ද විහාරයේ සිතුවම් කටයුතු කළ සාර්ලිස් මාස්ටර් ස්‍වදේශ මිත්‍රයා පත්‍රයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන්ද කටයුතු කළේය.උම්මග්ග ජාතක පොතේ පිටකවරය මෙන්ම ඇතුළු පිටුවල චිත්‍ර නිර්මාණය කළ සාර්ලිස් මාස්ටර් ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ 1925 නිපදවන ලද මෙරට තිරගත නොවූ ‘රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයාද විය. ඒ අනුව ලංකාවේ ප්‍රථම චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයා වීමේ ගෞරවය හිමිවන්නේ සාර්ලිස් මාස්ටර්ටය. රජ කතාවක් පසුබිම් කොට තැනූ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ රාජකුමාරයා ලෙස රඟපෑවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකුව සිටි පසුව දේශපාලනඥයකු වූ ඇන්.ඇම්. පෙරේරා මහතාය. මේ චිත්‍රපටයට බම්බලපිටියේ වෙළඳපොළ සහ රේස් පිට්ටනිය අතර විශාල වත්තක් සහිත ගොඩනැගිල්ලක් තුළ සාර්ලිස් මාස්ටර් විසින් වීදි, කැලෑ, ගෙවල්, රාජ මාලිගා ආදිය සහිත පසුතල නිර්මාණ කර කර තිබිණි..
මෙතුමා අතින් සිතුවම් නිමවූ විහාර අතර අශෝකාරාමය ඉසිපතනාරාමය, වේළුවනාරාමය, පූජාරාමය, සුදර්ශනාරාමය, පාන්ති විහාරය, වරාගොඩ විහාරය, බෝධිමළු විහාරය, ඉඳුරුවේ විහාරය හා බෙම්මුල්ලේ ශ්‍රීවර්ධන මහ පොත්ගුල් විහාරයත් වේ. ඔහු එවකට තැපැල් මාර්ගික චිත්‍ර පාඨමාලා ඉගැන්වීමේ පාසලක්ද අරඹා තිබිණ.
සාර්ලිස් මාස්ටර් සිත්තරකු පමණක් නොව මූර්ති ශිල්පියකු, කවියකු, ගීත රචකයකු මෙන්ම හිටිවන කවි කීමේ සමතකු ලෙසද ප්‍රකට බව සෝමවීර චන්ද්‍රසිරි කවියා කියා තිබිණි. තුට්ටු දෙකක මූඩි කැවුමක් තරම් වූ මඳක් උඩුකුරු කොට බැඳුණු කුඩා කොණ්ඩය හා ඔහු හැඳ සිටි සුදු රෙද්දත්, ටුවිඩ් කෝට් එකත් දුටුවන්ට මතක බවද ඔහු සඳහන් කර තිබූ බව අප හිතවත් ඒ. ඩී. රන්ජිත් කුමාර වරක් සඳහන් කළේය.
සාර්ලිස් මාස්ටර් හාස්‍යයට, විනෝදයට කැමති චරිතයක් බව කියා ඇති සෝමවීර චන්ද්‍රසිරි කවියා 1960 නොවැම්බර් 20 සිළුමිණ පුවත් පතේ එයට නිදසුනක් සපයා ඇත.
සාර්ලිස් මාස්ටර්ගේ සීවලී පින්තූරය සමච්චලයට ලක් කළ එක හාමුදුරුනමක් ඔහු විහාරයේ චිත්‍ර අඳිමින් සිටියදී මෙසේ ඇසූහ.
මොකද මාස්ටර් තමුසෙගෙ සීවලී පින්තුරේ සීවලී හාමුදුරුවෝ නිතරම පාත්‍රයට අත දමාගෙන ඉන්නේ? ඒක මහා කෑදරකමක් නේද? විහිළුවට මෙන් ප්‍රශ්න කළහ.
ඒක නොවෙන්නම් හාමුදුරුවනේ, ඔබවහන්සේ වැඩවසන මේ විහාරෙ සැතපෙන බුදු හාමුදුරුවොත් කොච්චරවත් සැතපිලා ඉන්නේ නිදිමතේ වෙන්න ඇති. මාස්ටර් අහක බලාගෙනම පිළිතුරු දුන්නේය.
සාර්ලිස් මාස්ටර් කොතරම් මහා චිත්‍ර ශාස්ත්‍රඥයෙක් වූවද තම එකම පුතා වූ පසුව ‘ලංකාදීප’ පත්‍රයේ චිත්‍රකතා චිත්‍ර ශිල්පියකු ලෙස රටක් දිනූ චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්නට චිත්‍ර ශිල්පය උගන්වා නැත. පුතා ගායකයකු වීමට දක්වන උනන්දුව දැක චිත්‍ර ශිල්පියකුට වඩා උඹ සිංදුකාරයෙක් වෙයන් යැයි පවසා ඇත. සාර්ලිස් මාස්ටර්ගේ ප්‍රධාන ගෝලයා වූයේ ජී.එස්. ප්‍රනාන්දු ය. සාර්ලිස් මාස්ටර් තම පුත්‍රයාට චිත්‍ර ශිල්පය ඉගැන්වූයේ නැති වුවද තම ගෝලයා වූ ජී. ඇස් ප්‍රනාන්දුගෙන් චිත්‍ර ඉගෙන ගන්නවාට විරෝධයක් දැක්වූයේ නැත මාස්ටර්ට අවශ්‍ය වූයේ තම පුත්‍රයා ගායකයකු කිරීමටය. සුසිල් විසින් එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ සයිගාල් නම් භාරතීය ගායකයාගේ ගීතයක් මුමුනමින් චිත්‍ර අඳිනු පියා දැක්කේය. පුතා විසින් ගැයූ ඒ ගීයට පියාගේ සිත යොමු විය.
පුතා.... ඒ ගීතයට ආසද? මාස්ටර් ඇසීය. සුසිල් හිස සැලීය.
මම ඒ සින්දුවට සිංහල වචන දාල දෙන්නම් පියා කීවේය.
තම පුතා මිමිනූ කේ.සයිගාල්ගේ දෝ නෙයිනා මතවාරේ ගීතයට ශ්‍රී රදනා මනහාරී ධාරී සුන්දර පෝය දිනේ යන සිංහල වචන යොදා මොහොමඩ් ගවුස් මාස්ටර් ලවා සංගීතවත් කොට තැටිගත කිරීමට පියා කටයුතු කළේය. ඒ සුසිල්ගේ ගායන දිවියේ ආරම්භය විය. තම පුතා විසින් ගයන ගුවන් විදුලි ගීත ඇසූ මාස්ටර් වඩාත් සතුටට පත්ව ඇත්තේ සුසිල්, රුක්මණී දේවිය සමඟ සැඟවුණු පිළිතුර චිත්‍රපටයට ගැයූ ගීත ඇසීමෙන් යැයි ඒ. ඩී රන්ජිත් කුමාරයන් සඳහන් කර තිබේ.
පැරණි ග්‍රැමෆෝන් ගීත පිළිබඳ මනා දැනුමක් ඇති විද්වතකු වන අප හිතවත් ඉසුරු උදයංග කාරියවසම් මහතා මාහට සඳහන් කල පරිදි , එතුමාගේ පුතා වූ සුසිල් ප්‍රේමරත්න මහතා ග්‍රැමොෆෝන් තැටියකට මුලින්ම තැටිගත කළ ගීත තැටියේ එක පැත්තක ඇතුලත් වූ කේවල ගීතය “ ශ්‍රී රඳනා මනහාරි “ ගීතය ( එවකට අතිශය ජනප්‍රිය වූ සහ සුසිල් ගේ ප්‍රියතම ගායකයා වූ කුන්දන්ලාල් සෛගාල් විසින් 1944 දී “මයි සිස්ටර්” චිත්‍රපටයට ගැයූ “දෝ නෛනා මතවාලේ” ගීතයේ තනුවට ) ලියුවේ සාර්ලිස් මාස්ටර්, ඒ ඔහු ග්‍රැමෆෝන් තැටියකට රචනා කළ පළමු සහ අවසන් ගීතයයි.( තැටියේ අනෙක් පස සුසිල් සහ ලීලාවතී ගැයූ “ වීනා ශිල්පාචාරී බෝසත” ගීතයි) ගීතය තැටිගත කලේ 1946 දී පමණ, තැටිය වෙළෙඳපොළට ආවේ 1947 අග භාගයේ දී පමණ HMV තැටි අංක WN 44. යැයි සඳහන් කරයි.
තම ජීවිත කාලයම බෞද්ධ සිතුවම් කලාව වෙනුවෙන් කැප කළ ඇම්. සාර්ලිස් මාස්ටර් 1955 නොවැම්බර් 21 දින අභාවප්‍රාප්ත විය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
04/06/2026
🛑 ලෝකයේ ඇති සුවිශේෂීම ස්තූපයක්: ඇතුළත කුහරයක් සහිත කළුතර චෛත්‍යයේ විශ්මිත කතාව
කළු ගඟ හරහා වැටී ඇති කළුතර පාලම පසුකරමින් දකුණු පළාතට යන ඕනෑම කෙනෙකුගේ නෙත ගැටෙන, දැවැන්ත සුදු පැහැති චෛත්‍යය තමයි "කළුතර බෝධි චෛත්‍යය". බැලූ බැල්මට මෙය සාමාන්‍ය චෛත්‍යයක් ලෙස පෙනුනත්, මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ මෙය "මධ්‍යය කුහරයක්" එනම් ඇතුළත සම්පූර්ණයෙන්ම හිස් අවකාශයක් සහිතව ගොඩනගා ඇති ලොව ප්‍රථම සහ සුවිශේෂීම බෞද්ධ ස්තූපයක් වීමයි.
අද SRI Info අපගේ මෙම විශේෂ දිගහැරුමෙන්, මේ විශ්මිත නිර්මාණයේ සැඟවුණු කතාව සහ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එනවා.
🏛️ ඓතිහාසික පසුබිම සහ ආරම්භය
කළුතර චෛත්‍යය පිහිටා ඇති ස්ථානය අතීතයේ හැඳින්වුණේ "ගංගාතිලක විහාරය" ලෙසයි. නමුත් යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් මෙම පූජනීය භූමියේ ඔවුන්ගේ දිසාපති කාර්යාලය (Kachcheri) සහ නිල නිවාසය ස්ථාපිත කරනු ලැබුවා.
පසුව, ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම මත, 1951 දී කළුතර බෝධි භාරය (Kalutara Bodhi Trust) පිහිටුවා මෙම භූමිය නැවතත් බෞද්ධයන් වෙත ලබා ගැනීමට කටයුතු කළා. ඉන්පසුවයි මෙම ඓතිහාසික චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ වන්නේ.
🏗️ ලෝකයම මවිත කළ ඉංජිනේරු තාක්ෂණය
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඇති රුවන්වැලිසාය, අභයගිරිය වැනි විශාල ස්තූප නිර්මාණය කර ඇත්තේ ඝන ගඩොල් බැම්මෙන් (Solid structure). නමුත් කළුතර චෛත්‍යය නිර්මාණය කිරීමේදී අනුගමනය කළේ සම්පූර්ණයෙන්ම වෙනස්ම වූ, එකල ලෝකයම මවිත කළ තාක්ෂණයක්.
සිහින් කොන්ක්‍රීට් කවච තාක්ෂණය (Thin Concrete Shell Technology):
මෙම දැවැන්ත නිර්මාණය සඳහා ගඩොල් වෙනුවට භාවිතා කළේ කොන්ක්‍රීට් තාක්ෂණයයි. මෙහිදී අතිවිශාල කොන්ක්‍රීට් කවචයක් ලෙස චෛත්‍යයේ පිටත හැඩය නිර්මාණය කළ අතර, ඇතුළත විශාල හිස් අවකාශයක් (කුහරයක්) ඉතිරි කළා.
ඉංජිනේරු දායකත්වය:
මෙම විශ්මිත ඉංජිනේරු සැලැස්ම පිටුපස සිටි ප්‍රධාන මොළකරු වන්නේ ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය A.N.S. කුලසිංහ මහතායි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (State Engineering Corporation) පූර්ණ දායකත්වයෙන්, පෙර-සවිබල ගැන්වූ කොන්ක්‍රීට් (Pre-stressed concrete) තාක්ෂණය භාවිතා කරමින් මෙම දැවැන්ත කුහර චෛත්‍යය 1960 දශකයේදී ගොඩනැගීම ආරම්භ කර 1974 වසරේදී පමණ ජනතා වන්දනාව සඳහා විවෘත කළා.
🕉️ ඇතුළත කුහරයේ ඇති සුවිශේෂීත්වය
ඔබ කළුතර චෛත්‍යය ඇතුළට ගියහොත්, එහි ඇති අතිමහත් නිශ්ශබ්දතාවය සහ ශාන්ත බව ඔබට දැනෙනවා ඇති.
කුඩා ස්තූපය: දැවැන්ත චෛත්‍යයේ කුහරය මධ්‍යයේ, වන්දනාමාන කිරීම සඳහා වෙනමම කුඩා සහ අලංකාර ස්තූපයක් නිර්මාණය කර තිබෙනවා. බැතිමතුන්ට ප්‍රධාන චෛත්‍යය ඇතුළට ගොස් මෙම කුඩා ස්තූපය වටා ප්‍රදක්ෂිණා කරමින් වන්දනාමාන කළ හැකියි.
බිතුසිතුවම් 74: චෛත්‍යය ඇතුළත රවුම් බිත්තිය සම්පූර්ණයෙන්ම වෙන්කර ඇත්තේ චිත්‍ර සඳහායි. මෙහි බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා සහ ජාතක කථා නිරූපණය වන ඉතා අලංකාර බිතුසිතුවම් 74ක් ඇඳ තිබෙනවා. මෙම සිතුවම් මගින් ඇතුළත පරිසරයට එක් කරන්නේ අසීමිත බෞද්ධ ප්‍රබෝධයක්.
ශබ්ද දෝංකාරය: ඇතුළත කුහරයේ හැඩය නිසා එහි ඇතිවන සියුම් ශබ්ද පවා දෝංකාර දෙන ස්වභාවයක් ඇති අතර, එය භාවනානුයෝගීන්ට සහ පිරිත් සජ්ඣායනා සඳහා ඉතා අපූරු වටපිටාවක් නිර්මාණය කරනවා.